මිත්‍රවරුනි, කාලෙකට පසුව ලිවිම…

, , Leave a comment

මිත්‍රවරුනි,
කාලෙකට පසුව ලිවිමකට මුල පිරුවේ.
පසුගිය කාලය පුරාවටම රට පුරා,ලොවපුරා සිදුවූ සියල්ල ඔබ හැම අත්විදලා ඒ ගැන ඉතා හොද අවධානයෙන් පසුවන බව දනිමි.
ඇඩිලේඩ් වාසී ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත අපි හැමෝම ගතින් මෙහේ ජීවත් වුවත් සිතින් ශ්‍රී ලංකාවේ සැරිසරන බවත් නොඅනුමානයි.
අපගේ දෙමව්පිය නෑදෑ හිතමිතුරන් දෙඇසින් දැකබලාගැනීමට හෝ මුවින් දෙඩීමට නොහැකිව සංකා සිතින් ශ්‍රී ලංකාව බලා හිතින් පියාසර කරන්නත් ඇති හැමෝම.

ඒ අතර එහි සිටින ශ්‍රී ලංකාවාසීන් “අනේ අපට මොකද මේ වුනේ” වැනි හැගීමකින් සුසුම් හෙලමින්, රටේ අනාගතයට කුමක් වේවිද ,අපේ දුවාදරුවන්ට අනාගතයේදී කුමන ඉරණමක් අත්වේදැයි සිතමින් බලාපොරොත්තු රහිතව,අනාගතය දෙස කළකිරුණු දෑසින් බලා සිටිනවා වෙන්නට ඇති.

මේ සියල්ල දෙස විමසිලිමත්ව උපේක්ෂාවෙන් බලාසිටි ඇඩිලේඩ් වාසී කිහිප දෙනෙක් එක්තරා දවසක යම්තැනකදී හමුවෙලා වැදගත් දෙයක් සාකච්ඡා කලා.
ඒ රට පෙරලන්න එහෙම නෙමෙයි.
එතැනදි කථා කලේ මෙවැනි ලෝක වසංගත උවදුරකදි සියලු ආදායම් සීමාවෙනකොට ,වැඩිමනක් ජනතා සුබසාධන කටයුතු නොමිලයේම ලබාදෙන ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකයට උරදෙන්නේ කෙසේද කියලා.

එතනදි තෝරාගත්තේ ඉතා ඉහල පිරිවැයක් වැයවන ඒවගේම ලෝක සෞඛ්‍ය දර්ශක වල ඉහලින්ම තියාගෙන ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ව කෙසේ හෝ රැක බලාගන්නා ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවයට දිරි දීම ගැනැයි.
එයිනුත් අවධානය වැඩි වශයෙන්ම යොමු වුනේ අඩු පිරිවැයක් යොදාගෙන වැඩි සේවයක් ලබාදියහැකි අංගයකට දායකත්වය ලබා දීමයි.

වෛද්‍ය ඔක්ෂිජන්: Medical Oxygen.
ප්‍රතිකාරයක් ලෙස වෛද්‍ය ඔක්ෂිජන් උපතේ සිට මරණය දක්වා නොයෙකුත් රෝගී තත්ව සහ ශල්‍යකර්මවලදී භාවිතා වේ.
දැනට ශ්‍රී ලංකාවේ සියලුමවාගේ රෝහල්වලට ඔක්සිජන් ලබාගන්නේ දේශීය හෝ විදේශීය සමාගම් වලට මුදල් ගෙවිමෙනි.
දැනට පවතින අධික ඔක්ෂිජන් ඉල්ලුමත් ඉල්ලුමට සරිලන ලෙස සැපයීමට නොහැකි රටේ අති දුර්වල ආර්ථිකයත් නිසා ඉතා තීරණාත්මක ඖෂධයක් වන වෛද්‍ය ඔක්ෂිජන් සැපයීම කෙරෙහි අපේ අවධානය යොමු උනා.

දැනට ලෝකයේ සායනික ඔක්ෂිජන් නිපදවන ක්‍රම දෙකක් තියෙනවා.
සරල ක්‍රමය තමයි අප හුස්ම ගන්නා අවකාශයේ ඇති 21% පමණ වූ ඔක්ෂිජන් ටික පෙරා සාන්ද්‍ර කොට පීඩනයක් යටතේ වායු ලෙස සිලින්ඩර ගතකිරීම.එයට කියන්නේ PSA technology කියලා.
අනිත් ක්‍රමය තමයි Cryogenic කියන සංකීර්ණ ක්‍රමය හරහා ද්‍රව ඔක්ෂිජන් නිපදවීම.මේ ක්‍රමය සිදුවන්නේ මධ්‍යම සහ මහාපරිමාණ කර්මාන්ත ශාලා තුලවීම නිසා අපගේ අවධානය යොමු උනේ නැහැ.

ඉතින් මේ වෙනකොට අපිට මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂක තුමා මෙවැනි ඔක්ෂිජන් ජනන යන්ත්‍රයක දැඩි අවශ්‍යතාව, එයින් රෝහලට ලැබෙන සේවය සහ ඉතිරි වෙන මුදල් ප්‍රමාණය අපට දන්වා එවා තියෙනවා.
ඒ වගේම එම ජනන යන්ත්‍රය ස්ථාන ගතකර එයට අවශ්‍ය විදුලිය සහ නඩත්තු කටයුතු කරගෙන යෑමට ඇති හැකියාව ගැනැත් සදහන් කොට තියෙනවා.
මෙවැනි ඔක්ෂිජන් ජනන යන්ත්‍රයක් ලෝක වෙළදපොලේ මිල USD 50,000- 150,000 වෙන නිසා අප හට එම මුදල සොයාගැනීමට අරමුදල් සොයාගැනීමේ ක්‍රම රාශියක පිහිට පතන්න සිදුවුනා.
ඉතින් මේ දුෂ්කර කාර්‍ය්ය ශාක්ශාත් කරගැනීමට අපි සියලු දෙනා ඇඩිලේඩ් බෞද්ධ විහාරස්ථානය,ඇඩිලේඩ් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලය සහ ඇඩිලේඩ් වල ඇති සියලු ශ්‍රී ලාංකීක සංවිධාන මුල් කරගෙන වැඩපිලිවෙළක් සකස් කලා.

එය තමයි ” හුස්මකට අත්වැලක්” ව්‍යාපෘතිය.
ඔබටත් ඒ මහගු කාර්‍යය සදහා ඔබගේ නොයෙකුත් සහය අපට දියහැකියි.
ඉදිරියේදී පැවැත්වෙන ප්‍රජාමුලික ආධාර ඉපයීමේ උත්සවවලදී ඔබගේ නොමසුරු ආධාරය සතුටු සිතින් එක්කළ හැකියි.
අප අවට ඇති නොමිලයේ ලැබෙන වාතය අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන දේශීයව වෛද්‍ය ඔක්ෂිජන් ජනන යන්ත්‍රයක් හරහා සකසාගැනීම ශ්‍රි ලංකාව වැනි රටකට ඉතා උචිත බව අප විසින් සොයාගත් ලෝක දත්ත වලින් පැහැදිලි උනා.
ඒ වගේම එය ශ්‍රි ලාංකීය පාලන තන්ත්‍රයේ ඇස් අරවන ව්‍යාපෘතියක්ද උනා.
පිටරටවලට දෑස් නියා බලා සිටින,දේශීය නිශ්පාදනවලට තැන නොදීමේ බලවත් විපාක වලට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවට කිසියම් හෝ හොද තත්ත්වයක් මේ ව්‍යාපෘතිය හරහා සිදුවේ යැයි අපගේ බලවත් අභිලාෂයයි.
තවත් වැඩි විස්තර ඉක්මනින්ම සපයන්නම්.
පහත ඇති ජායාරූප හරහා මේ ඔක්ෂිජන් ජනන යන්ත්‍ර ගැන වැඩි තොරතුරු දැනගන්න.
අවශ්‍ය වුවහොත් අමතන්න.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews