මිත්‍රවරුනි, ඇඩිලේඩ්හී වාසය කර…

, , Leave a comment

මිත්‍රවරුනි,
ඇඩිලේඩ්හී වාසය කරන ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත අපට මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය ගත කිරීමට සිදුව ඇත්තේ මව්බිමේ ඇති වී ඇති දුෂ්කර ආර්ථික සහ සමාජීය පරිසරයක් තුළය.
ශ්‍රී ලංකාව තුල ඇතිවී ඇති තත්ව සියල්ල ගැන ඔබ හැමෝම මේ වන විට හොදින් දැනුවත්වී ඇති බව මා විශ්වාස කරමි.
ඊයේ වනවිට ශ්‍රී ලංකාවේ මහ බැංකුව රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් බවට (Bankruptcy) පත් වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙවැනි වාතාවරණයක් රටතුල ඇතිවීම පිලිබද හේතු වූ කාරණා සියල්ලත් ඔබ සැම හොදින් තේරුම් ගෙන ඇති බවත් මා විශ්වාස කරමි.
ආර්ථික බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමේ මූලික අරමුණ වන්නේ ඉතිරි වී ඇති විදේශ සංචිත අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ඉතිරිකරගෙන ණය ගෙවීම කල් දමා ගැනීමයි.
ඒ කල් දමාගන්නා කාලය තුල ගෙවිය යුතු ණය වාරික සියල්ල මූලික ණය ප්‍රමාණයට නැවත එකතු වී ණය වාරිකය වැඩිවීමත් එහි අනිවාර්ය අතුරු ප්‍රථිඵලයකි.
ඒ වගේම ආර්ථික බංකොලොත් බාවය පිලිගැනීම හරහා නැවුම් ප්‍රවේශයකින් ආර්ථිකය හසුරුවාගැනීමට අවස්ථාවත් උදාවේ.
මේ සිදුව ඇති අතිශය ආර්ථික බංකොලොත් භාවය වසර30- 40 ක සිට ක්‍රම ක්‍රමයෙන් සිදුවූවක් බවත් එය පසුගිය වසර දෙක තුල ඉතා වේගයෙන් සිදු වූ බවත් අප දනිමු.
කොරෝනා වසංගතය එහි එක් හේතුවක් පමණක් බවත් නිවැරදි ආර්ථික දර්ශනයක් නොමැති වීම එහි වැඩි වගකීමක් දරන බවත් අපි දන්නේ, ශ්‍රී ලංකාවට වඩා කොරෝනා වසංගතයෙන් බැට කෑ අනිත් කිසිදු රටක් ආර්ථික වශයෙන් මෙබදු බංකොලොත්භාවයට පත් වී නැති බව අප ඇස් පනා පිට පෙනෙන බැවිනි.
රට තුල සිදුවූ වැරදි අපි හැමෝටම පෙනේ.ඒ වැරදි සිදුකල අයත් අප දනී.ඒ වැරදි සදහා වන එරෙහි වීම් පවා අප දකී.නමුත් ඒ වැරදි ආර්ථික හා සමාජ කළමනාකරණය නිවැරැදි මාවතකට ගෙන යායුත්තේ කෙසේද යන්න රටේ විවාදාත්මක කරුණකි.
වාසනාවකට එක් දෙයක් අප රටතුල ඇත.
ඒ නම් පසුගිය වසර 74ක් තුල අප රටේ පරිපාලනය සහ සමාජය තුල සිදු වූ වැරදීම් සංඛ්‍යාවයි.
පසුගිය කාලවල අප දුටු සංවෘත ආර්ථිකයේ විපාක,විවෘත ආර්ථිකයේ විපාක, ජාතිවාදි කෝලාහල වල විපාක,ආගම්වාදී වීමෙන් සිදුවූ විපාක,
විප්ලවවාදී වීමෙන් සිදු වූ විපාක,සොරකම් සහ දූෂණය කිරීමෙන් සිදු වූ විපාක,අවංකව වැඩ නොකිරීමෙන්,බොරු කීමෙන්,වෙලාවට වැඩ නොකිරිමෙන්, අල්ලස් සහ කොමිස් ගැනීමෙන්,රටට පලක් නොවන ව්‍යාපෘතිවලට ණය ගැනීමෙන්, දේශීය නිශ්පාදනය වැඩි නොකිරීමෙන් සිදු වූ විපාක වැනි මේ සියල්ල ඉතිහාසය තුලින් අපේ වැරදි බවට අපට ඔප්පු කරදී ඇත.
ඒ වැරදීම් සියල්ල උදාහරණ සහ උගත් පාඩම් ලෙස ගතහොත් අපට ඒවා යලි නොකිරීමෙන්ම නිවැරැදි තීන්දු තීරණවලට එළැඹිය හැක.
සිදු විය යුතු සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිලිබද කථාබහක් ඉක්මණින්ම සිදු විය යුතුයි.
මේ සදහා මේ අරගල සහිත සංක්‍ර්‍රාණ්ති සමය ඉතාමත්ම සුදුසුයි.
රටේ බහුතරයක් “System change” එකක් ඉල්ලයි.
ඒ වෙනස් ක්‍රමය අප කල පෙර වැරදි තුලින්ම වටහා ගෙන අප විසින්ම සාදා ගතයුතු වේ.
ඒ system change සදහා උදාහරණ වෙනත් රටවලිනුත් ගත හැක.
මෙය අරගල භූමියේදීම ” ගෝඨාගෝ ගමේදී” ම මෙම කතිකාව ඇරඹිය හැක.
මේ සදහා සමාජයේ සිටිනා බුද්ධිමත් උගතුන්, නීති වේදින්,ප්‍රතිපත්ති සම්පාදකයන්,ආර්ථීක විශේෂංඣයින් වැනි සියලුම දෙනා එක්ව සිදුකර ගතයුතු වේ.
ගෝටා කොයි වෙලාවේ හෝ යයි.එය ස්ථිරයි. එහෙත් ඒවෙනවිට ව්‍යවස්ථා සංශෝධන හරහා තරුණයින් ඉල්ලා සිටින රටට ඇවැසි වෙනස ලබා දියයුතුය.
ආර්ථික බංකොලොත් භාවය වෙස්වලාගෙන පැමිනි ආශිර්වාදයක් ලෙස සලකා පෙර කල සෝබන වැඩ නවතා දමා උදාර රටක් ලෙස නැවත ලෝකයා හමුවේ පෙනී සිටීමට හා රටේ හෙට උපදින දුවා දරුවන්ට යහපත් රටක් ලබා දීමටත් අදිටන් කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි.
ඔබ සැමට යහපත් දවසක්.
සරත් සේනාධීර
ඇඩිලේඩ්,දකුණු ඕස්ට්‍රේලියාව.
14/04/22

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews